Thursday, June 20, 2013

වසර 700කට පසු ලැබූ හරි අපූරු රාජ්‍ය සම්මානය


මහ උන් හිටගෙන මූත්‍රා කරන විට කුඩා උන් දුව දුව මූත්‍රා කරනවා යයි පැරැන්නෝ කීවේ කටකහනවටම නොවේ යයි දැන් දැන් මොනවට කල්පනාවට පැමිණේ. මහ උන් ඇහුවේ ඉතිහාසය කන්නද කියා ය. එසේ කියා උන් කෙරුවේ ඉතිහාසය හා ප්‍රජා අධ්‍යයනය කියන විෂයයන් දෙකම හකුලා දමා ඉතිහාසයෙන් කෑල්ලකුත් ප්‍රජා අධ්‍යයනයෙන් කෑල්ලකුත් සම්බෝලයක් කර එකක් හැදීම නොහොත් ඉතිහාසය හා සමාජ අධ්‍යයනය කියා විෂයක් පෙළ පොත් වලට එකතු කිරීමය. එසේ එකතු කරපු ඉතිහාස කෑල්ලෙත් තිබුණේ පර සුද්දන් මේ රට පාලනය කරන කාලයේ එනම් සිංහල ජාතිය බල්ලට ගිය කාලයේ සුද්දන්ගේ වැඩ කිඩ ය. ඒයට හා හූ කියන්නටදෝ කොඩිරින්ටන්ගේ ඉතිහාසය හා වඳුරන් මිනිසුන් වෙනවා යයි කියන පරිනාමවාදයක් හෝ තවත් මොකක් හරි සුද්දන්ගේ කජ්ජක් හෝ පූලක් එයට සක්ක තබා තිබේ. වර්ගපූර්ණිකාවට, මහා වංශයට, රාජාවලියට ටීකා ලියන්නට තබා එව්වා කලුද සුදුද කියා කියන්නටවත් අද උන් දන්නේ නැත. එහෙව් රටේ අද කලා භූෂණ සම්මානයක් ලබා ගත් රාජා නම් අංගම් චෞරයා වසර 198කට පෙර අංගම් ශාස්ත්‍රය රජකල සිංහල රාජ්‍යයක් තිබුණ රටක සිට ‘‘අංගම් ශාස්ත්‍රය සම්බන්ධ සටන් කරුවෙකුට වසර 700කට පසුව ලැබුණ සම්මානය‘‘ තමා හිමිකරගත් බව ප්‍රකාශ කලේ ඉතිහාසය නොදන්නාකම මහත් උජාරුවෙන් කරපින්නාගත් සමාජයකට බව පළමුව තෙපරබා හෝ කිව යුතුය.

කලා භූෂණ සම්මානය ගන්නා අයුරු


ඔක්කෝටම කලින් මොකුත්ම කියන්නට පෙර මේක ගැන කියා නිමකොටම සිටිය යුතු යයි සිතුන නිසා ලියා තබන්නට සිත්විය. සාමාන්‍යයෙන් කලා භූෂණ සම්මානය සඳහා ලේඛකයින්, පාරම්පරික චිත්‍ර, මූර්ති, කැටයම්, ලාක්ෂා, වියමන්, රූකඩ, නාට්‍ය, නර්තන, බෙර වාදන, සංගීත ශිල්පීන් හා ජන කලාකරුවන් ආදී සියලුම කලාකරුවන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් තෝරා ගැනීම සිදු කරයි. ශ්‍රී ලාංකේය ක‍ලා ක්ෂේත්‍රයට ඉමහත් සේවාවක් කර  වයස අවුරුදු 60 ඉක්මවා දැනට ජීවිතයේ සැදෑ සමය ගත කරමින් සිටින කලාකරුවන්ගේ සේවය අගයනු සඳහා සංස්කෘතික හා  කලා කටයුතු අමාත්‍යාංශයේ  සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව මෙම සම්මාන උළෙල පැවැත්වෙන බව කවුරුත් දන්නා කාරණයකි. තමා කලා ක්ෂේත්‍රයට කළ සේවාව ගැන සලකා බලා තමාට මෙම සම්මානය ලබා දෙන ලෙස කරනු ලබන ඉල්ලීමක් හෙවත් අයදුම්පතක් ලබාදීමෙන් පසුව මෙම සම්මානය පිරිනැමේ. තවත් ලෙසකින් කියනවා නම් පස්සෙන් වැඳ වැටී ඉල්ලා ගන්නා සම්මානයක් ලෙස මෙම සම්මානය හැඳින්විය හැකිය. 

‘‘කලා භූෂණ සම්මාන සඳහා අයදුම්පත් භාරගැනේ“ යන ලිපිය කියවන ඕනෑම අයෙකුට එම සම්මානය ලබා ගන්නේ කෙසේද යන්න සරළව වැටහී යනු ඇත. එය එසේ වුවද අද රාජා කියනුයේ තමා ළඟට විත් මෙම සම්මානය රජයෙන් ලබා දුන්නා ලෙසය. එසේ දුන් සම්මානයක් ගෙන තමා ඓතිහාසික පුද්ගලයෙකු ලෙස නූගත් මාධ්‍යකරුවන් ඉදිරියේ හුවා දක්වන්නට ද ඔහු සමත් වීම මාධ්‍ය ගැටවරයන්ගේ ඉතිහාස දැනුමේ තරමද අපට පෙන්වා දෙයි.

හරි අපූරු ඓතිහාසික සම්මානය



වඩාත් නිවැරදිව මීට වසර 379කට නොපැරණි කාලයේ මරුවල්ලිය නම් ගමේ සටන් පරපුරක කාන්තාවක් වන ගලගොඩ කුමාරිහාමී නම් වූ අස්ථාන කුමරු හෙවත් දෙවන රාජසිංහ රජුගේ (ක්‍රි:ව 1634 -1686 දක්වා පාලනය කළ) රාජ්‍ය සම්මානධාරී දිසාපතිනියක් වූ සටන් චරිතයෙන් ආරම්භ වන මරුවල්ලිය සටන් පරපුරෙන් පැවත එනවා යයි කියා කියන රාජා වික්‍රම ආරච්චි හා එම පොරෝඩිවට හා හූ තියන ජාතික රූපවාහිනිය අද කියනුයේ තමන්ගේ පරම්පරාවේ ආරම්භකයා වන මරුවල්ලියේ කුමාරිහාමී නොහොත් ගලගොඩ කුමාරිහාමියත් රාජ්‍ය සම්මානයක් ලබා ගත්තේ නැත කියාද?  ඉහත ප්‍රවෘත්තියේ වැදගත් උදෘත දෙකක් පහත පරිදි දක්වමු.

“වසර 700කට පසුව ශ්‍රි ලංකාවේ අංගම් සටන් කලා ශිල්පියෙක් රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබයි. රත්නපුර ප්‍රදේශයේ මරුවල්ලිය අංගම් පරපුරට අයත් රාජා වික්‍රමාරච්චි මහතාට පසුගියදා එම සම්මානය පිරිනමනු ලැබීය.“ (ජාතික රූපවාහිණී ප්‍රවෘත්ති ප්‍රකාශක) 

“අවුරුදු 700කට ඉස්සෙල්ලා ගලබඩ දිසාව කියන එක්කෙනා රාජ්‍ය සම්මානයක් ලබාගෙන තිබෙනවා සිංහල රජවරුන්ගෙන්. ඊට පස්සේ සටන් කලාව වෙනුවෙන් රාජ්‍ය සම්මානයක් හම්බවෙච්චි පළවෙනි අවස්ථාව මම හිමි කර ගත්තේ. මාව සටන් ශිල්පියෙක් වශයෙන් ...“ (රාජා වික්‍රමආරච්චි නම් අංගම් චෞරයා)

ඉහත ප්‍රවෘත්තිය කියවන ඕනෑම ඔලමොට්ටලයෙකුට මෙතන මොකක් හරි අවුලක් ඇති බව හැඟී ගියද සිංහල උන්ට ඉතිහාසය දැන් අමතක නිසා පොඩි එකාට මෙන් මෙසේ පැහැදිලි කරන්නට සිත් වේ. 

එකතු කරන්න අඩු කරන්න දන්නා ඕනෑම අයෙකුට තේරුම් ගත හැකි සත්‍යයක් වන්නේ වසර 700කට පෙර ගලගොඩ දිසාව කියන කෙනා ගැන තේරුම් ගත හැක්කේ ගලගොඩ දිසාව යනු 1313 දී (2013 න් වසර 700ක් අඩු කළ විට) ජීවත් වූ පුද්ගලයෙකු කියාය. තරමක ඉතිහාස දැනුමක් ඇති එකෙකුට මේක තවත් විදිහකින් සිතා ගත හැකිය. එනම් ගම්පොල යුගයට පෙර ඇතුගල් පුර යුගයට අයත් කාලයේ දී බවයි. මේ ගැන නොදන්නා අයට මෙතනින් ගොස් සිංහලේ රාජාවලිය බලා එය තේරුම් ගත හැකිය.

ගලගොඩ දිසාව යනු !

ගලගොඩ දිසාව යනු කුමන කාලයේ කුමන ආකාරයේ පුද්ගලයෙකුද යන්න පහත ලේකම්මිට විමර්ශනය නම් ආචාර්ය එච්.ඒ.පී. අභයවර්ධන මහතා ලියූ ග්‍රන්ථයේ 167 පිටුවේ  සඳහන් උදෘතයෙන් බුද්ධිමත් අයට තේරුම් ගත හැකිය.

‘‘සතර කෝරළේ මහ දිසාව පාලනය කල දිසාපති දිසාවේ වරුන් අතර එ් දඬුවාවේ ගැහැණු දිසාවේගේ කතා පුවත ඉතා ප‍්‍රකටය. ඇය සමකාලීන යුගයේ ලංකාවේ විසූ එකම කාන්තා දිසාපතිනියයි. මල්ලව දේශයට ගොස් කඩු ශිල්පය හැදෑරූ ඇය ආපසු විත් මහනුවර රජු ඉදිරියේදී ඌරා ලිඳේ අංගං කෙටීම නැමැති ද්වන්ධ සටනින් ජයගෙන සතර කෝරළයේ මහදිසාපති පදවිය ලැබුවාය. එ් දඬුවාවේ දිසාපතිනියගේ පුත් එ් දඬුවාවේ පනික්කි දිසාව ද කඩු ශිල්පයෙහි අතිශූරයෙකු වශයෙන් ප‍්‍රකටය හේ දෙවන රාජසිංහ (කි‍්‍ර.ව 1635 - 1687) රජු දවස විසීය.’’

ජාතිය වෙනුවෙන් පෙනී සිටින ජාතික රූපවාහිනිය හා මෙම් අංගම්පොර නමින් පෙනී සිටින චීනඩි ශිල්පියා මේ පාවා දෙන්නේ අපගේ අති උතුම් ඉතිහාසය නොවේ යයි කාට නම් කිව හැකිද?

වසර 700ද වසර 5ද?

කලා භූෂණ සම්මානය යනු මහා රාජ්‍ය සම්මානයක් ලෙස නොපිලිගන්නා නමුදු මෙම කලා භූෂණ සම්මානයම මීට වසර කිහිපයකට පෙරදී මෙවන්ම වූ අංගම්පොර නමින් පෙනී සිටින චීනඩි ශිල්පියෙකුට ලැබිණ. ඒ ගිනිඅලුගේ කරුණාපාල නම් අංගම් චෞරයාටය. එදා ඔහුද මෙසේ උඩපනිමින් තමාට රාජ්‍ය සම්මානයක් ලැබුණ බව කීවද අද තම හිත මිත්‍ර චෞරයාද එයම කියන විට මුනිවත රකිනුයේ මන්දැයි නොතේරේ.


අවසාන වශයෙන් කිව යුත්තේ ඉතිහාසය නොදන්නා සමාජයක් හමුවේ අංගම්පොර නමින් චීනඩි ඇද බෑවාට ඉතිහාසයත් තමන්ගේ කර ගන්ට යාමෙන් නම් රාජා වික්‍රමආරච්චි නම් චෞරයාට සිදු වූයේ හත්පොලේ ගාගැනීමක් පමණක් බවය. තමා සුවිශේෂී බව කියන්නට ගොස් රාජ්‍ය සම්මානයක් ලෙස මහා ඉහලින්පෙන්වීමට උත්සාහ කළ කලාභූෂණ සම්මානය යනු ඉල්ලාගෙන පස්සේලන් ගොස් ගන්නා සම්මානයක් බව මේ රටේ ඔලුව තියෙන උදවිය දනිති. ඒ නිසාවෙන් ඒකෙන්ද වැඩක්  නැත. තමා මරුවල්ලියේ පරම්පරාවෙන් පැවත එනවා යයි කීවද මරුවල්ලියේ පරම්පරාව යනු කුමක්ද කියා වත් නොදන්නා බව වසර 700යේ කතාවෙන්ම මොනවට පැහැදිලි වේ. ඌරා ළිදේ සටනකින් පසුව රාජ්‍ය සම්මානනීය දිසාපති තනතුරක් මරුවල්ලියේ කුමාරිහාමී ලැබුවේද මීට වසර 379කට නොවැඩි කාලයකදී වීමම රාජාට නොතේරුණාට තණකොල නොකන සිංහලයන්ට නම් තේරෙනවාට සැක නැත. ඒ මදිවාට කරුණාපාලද මීට වසර 5කට පෙර මේ සම්මානයම අරගෙන තිබීම තවත් හත්පොලේ ගාගැනීමකි. අන්තිමට කිය හැකි වන්නේ මෙපමණකි. එනම් කටේ නරිවාදම් රෙද්ද පල්ලේ බෙරෙනවා කියාය.





No comments:

Post a Comment

ඔබේ අදහස් ඉදිරිපත් කරන්න.
(සිංහල යුනිකෝඩ් භාවිතයෙන් පමණි)
(ඉංග්‍රීසියෙන්/සිංග්‍රීසියෙන් ලැබෙන කොමෙන්ටු ප්‍රසිද්ධ නොකෙරේ)