Thursday, June 20, 2013

වසර 700කට පසු ලැබූ හරි අපූරු රාජ්‍ය සම්මානය


මහ උන් හිටගෙන මූත්‍රා කරන විට කුඩා උන් දුව දුව මූත්‍රා කරනවා යයි පැරැන්නෝ කීවේ කටකහනවටම නොවේ යයි දැන් දැන් මොනවට කල්පනාවට පැමිණේ. මහ උන් ඇහුවේ ඉතිහාසය කන්නද කියා ය. එසේ කියා උන් කෙරුවේ ඉතිහාසය හා ප්‍රජා අධ්‍යයනය කියන විෂයයන් දෙකම හකුලා දමා ඉතිහාසයෙන් කෑල්ලකුත් ප්‍රජා අධ්‍යයනයෙන් කෑල්ලකුත් සම්බෝලයක් කර එකක් හැදීම නොහොත් ඉතිහාසය හා සමාජ අධ්‍යයනය කියා විෂයක් පෙළ පොත් වලට එකතු කිරීමය. එසේ එකතු කරපු ඉතිහාස කෑල්ලෙත් තිබුණේ පර සුද්දන් මේ රට පාලනය කරන කාලයේ එනම් සිංහල ජාතිය බල්ලට ගිය කාලයේ සුද්දන්ගේ වැඩ කිඩ ය. ඒයට හා හූ කියන්නටදෝ කොඩිරින්ටන්ගේ ඉතිහාසය හා වඳුරන් මිනිසුන් වෙනවා යයි කියන පරිනාමවාදයක් හෝ තවත් මොකක් හරි සුද්දන්ගේ කජ්ජක් හෝ පූලක් එයට සක්ක තබා තිබේ. වර්ගපූර්ණිකාවට, මහා වංශයට, රාජාවලියට ටීකා ලියන්නට තබා එව්වා කලුද සුදුද කියා කියන්නටවත් අද උන් දන්නේ නැත. එහෙව් රටේ අද කලා භූෂණ සම්මානයක් ලබා ගත් රාජා නම් අංගම් චෞරයා වසර 198කට පෙර අංගම් ශාස්ත්‍රය රජකල සිංහල රාජ්‍යයක් තිබුණ රටක සිට ‘‘අංගම් ශාස්ත්‍රය සම්බන්ධ සටන් කරුවෙකුට වසර 700කට පසුව ලැබුණ සම්මානය‘‘ තමා හිමිකරගත් බව ප්‍රකාශ කලේ ඉතිහාසය නොදන්නාකම මහත් උජාරුවෙන් කරපින්නාගත් සමාජයකට බව පළමුව තෙපරබා හෝ කිව යුතුය.

කලා භූෂණ සම්මානය ගන්නා අයුරු


ඔක්කෝටම කලින් මොකුත්ම කියන්නට පෙර මේක ගැන කියා නිමකොටම සිටිය යුතු යයි සිතුන නිසා ලියා තබන්නට සිත්විය. සාමාන්‍යයෙන් කලා භූෂණ සම්මානය සඳහා ලේඛකයින්, පාරම්පරික චිත්‍ර, මූර්ති, කැටයම්, ලාක්ෂා, වියමන්, රූකඩ, නාට්‍ය, නර්තන, බෙර වාදන, සංගීත ශිල්පීන් හා ජන කලාකරුවන් ආදී සියලුම කලාකරුවන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් තෝරා ගැනීම සිදු කරයි. ශ්‍රී ලාංකේය ක‍ලා ක්ෂේත්‍රයට ඉමහත් සේවාවක් කර  වයස අවුරුදු 60 ඉක්මවා දැනට ජීවිතයේ සැදෑ සමය ගත කරමින් සිටින කලාකරුවන්ගේ සේවය අගයනු සඳහා සංස්කෘතික හා  කලා කටයුතු අමාත්‍යාංශයේ  සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව මෙම සම්මාන උළෙල පැවැත්වෙන බව කවුරුත් දන්නා කාරණයකි. තමා කලා ක්ෂේත්‍රයට කළ සේවාව ගැන සලකා බලා තමාට මෙම සම්මානය ලබා දෙන ලෙස කරනු ලබන ඉල්ලීමක් හෙවත් අයදුම්පතක් ලබාදීමෙන් පසුව මෙම සම්මානය පිරිනැමේ. තවත් ලෙසකින් කියනවා නම් පස්සෙන් වැඳ වැටී ඉල්ලා ගන්නා සම්මානයක් ලෙස මෙම සම්මානය හැඳින්විය හැකිය. 

‘‘කලා භූෂණ සම්මාන සඳහා අයදුම්පත් භාරගැනේ“ යන ලිපිය කියවන ඕනෑම අයෙකුට එම සම්මානය ලබා ගන්නේ කෙසේද යන්න සරළව වැටහී යනු ඇත. එය එසේ වුවද අද රාජා කියනුයේ තමා ළඟට විත් මෙම සම්මානය රජයෙන් ලබා දුන්නා ලෙසය. එසේ දුන් සම්මානයක් ගෙන තමා ඓතිහාසික පුද්ගලයෙකු ලෙස නූගත් මාධ්‍යකරුවන් ඉදිරියේ හුවා දක්වන්නට ද ඔහු සමත් වීම මාධ්‍ය ගැටවරයන්ගේ ඉතිහාස දැනුමේ තරමද අපට පෙන්වා දෙයි.

හරි අපූරු ඓතිහාසික සම්මානය



වඩාත් නිවැරදිව මීට වසර 379කට නොපැරණි කාලයේ මරුවල්ලිය නම් ගමේ සටන් පරපුරක කාන්තාවක් වන ගලගොඩ කුමාරිහාමී නම් වූ අස්ථාන කුමරු හෙවත් දෙවන රාජසිංහ රජුගේ (ක්‍රි:ව 1634 -1686 දක්වා පාලනය කළ) රාජ්‍ය සම්මානධාරී දිසාපතිනියක් වූ සටන් චරිතයෙන් ආරම්භ වන මරුවල්ලිය සටන් පරපුරෙන් පැවත එනවා යයි කියා කියන රාජා වික්‍රම ආරච්චි හා එම පොරෝඩිවට හා හූ තියන ජාතික රූපවාහිනිය අද කියනුයේ තමන්ගේ පරම්පරාවේ ආරම්භකයා වන මරුවල්ලියේ කුමාරිහාමී නොහොත් ගලගොඩ කුමාරිහාමියත් රාජ්‍ය සම්මානයක් ලබා ගත්තේ නැත කියාද?  ඉහත ප්‍රවෘත්තියේ වැදගත් උදෘත දෙකක් පහත පරිදි දක්වමු.

“වසර 700කට පසුව ශ්‍රි ලංකාවේ අංගම් සටන් කලා ශිල්පියෙක් රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබයි. රත්නපුර ප්‍රදේශයේ මරුවල්ලිය අංගම් පරපුරට අයත් රාජා වික්‍රමාරච්චි මහතාට පසුගියදා එම සම්මානය පිරිනමනු ලැබීය.“ (ජාතික රූපවාහිණී ප්‍රවෘත්ති ප්‍රකාශක) 

“අවුරුදු 700කට ඉස්සෙල්ලා ගලබඩ දිසාව කියන එක්කෙනා රාජ්‍ය සම්මානයක් ලබාගෙන තිබෙනවා සිංහල රජවරුන්ගෙන්. ඊට පස්සේ සටන් කලාව වෙනුවෙන් රාජ්‍ය සම්මානයක් හම්බවෙච්චි පළවෙනි අවස්ථාව මම හිමි කර ගත්තේ. මාව සටන් ශිල්පියෙක් වශයෙන් ...“ (රාජා වික්‍රමආරච්චි නම් අංගම් චෞරයා)

ඉහත ප්‍රවෘත්තිය කියවන ඕනෑම ඔලමොට්ටලයෙකුට මෙතන මොකක් හරි අවුලක් ඇති බව හැඟී ගියද සිංහල උන්ට ඉතිහාසය දැන් අමතක නිසා පොඩි එකාට මෙන් මෙසේ පැහැදිලි කරන්නට සිත් වේ. 

එකතු කරන්න අඩු කරන්න දන්නා ඕනෑම අයෙකුට තේරුම් ගත හැකි සත්‍යයක් වන්නේ වසර 700කට පෙර ගලගොඩ දිසාව කියන කෙනා ගැන තේරුම් ගත හැක්කේ ගලගොඩ දිසාව යනු 1313 දී (2013 න් වසර 700ක් අඩු කළ විට) ජීවත් වූ පුද්ගලයෙකු කියාය. තරමක ඉතිහාස දැනුමක් ඇති එකෙකුට මේක තවත් විදිහකින් සිතා ගත හැකිය. එනම් ගම්පොල යුගයට පෙර ඇතුගල් පුර යුගයට අයත් කාලයේ දී බවයි. මේ ගැන නොදන්නා අයට මෙතනින් ගොස් සිංහලේ රාජාවලිය බලා එය තේරුම් ගත හැකිය.

ගලගොඩ දිසාව යනු !

ගලගොඩ දිසාව යනු කුමන කාලයේ කුමන ආකාරයේ පුද්ගලයෙකුද යන්න පහත ලේකම්මිට විමර්ශනය නම් ආචාර්ය එච්.ඒ.පී. අභයවර්ධන මහතා ලියූ ග්‍රන්ථයේ 167 පිටුවේ  සඳහන් උදෘතයෙන් බුද්ධිමත් අයට තේරුම් ගත හැකිය.

‘‘සතර කෝරළේ මහ දිසාව පාලනය කල දිසාපති දිසාවේ වරුන් අතර එ් දඬුවාවේ ගැහැණු දිසාවේගේ කතා පුවත ඉතා ප‍්‍රකටය. ඇය සමකාලීන යුගයේ ලංකාවේ විසූ එකම කාන්තා දිසාපතිනියයි. මල්ලව දේශයට ගොස් කඩු ශිල්පය හැදෑරූ ඇය ආපසු විත් මහනුවර රජු ඉදිරියේදී ඌරා ලිඳේ අංගං කෙටීම නැමැති ද්වන්ධ සටනින් ජයගෙන සතර කෝරළයේ මහදිසාපති පදවිය ලැබුවාය. එ් දඬුවාවේ දිසාපතිනියගේ පුත් එ් දඬුවාවේ පනික්කි දිසාව ද කඩු ශිල්පයෙහි අතිශූරයෙකු වශයෙන් ප‍්‍රකටය හේ දෙවන රාජසිංහ (කි‍්‍ර.ව 1635 - 1687) රජු දවස විසීය.’’

ජාතිය වෙනුවෙන් පෙනී සිටින ජාතික රූපවාහිනිය හා මෙම් අංගම්පොර නමින් පෙනී සිටින චීනඩි ශිල්පියා මේ පාවා දෙන්නේ අපගේ අති උතුම් ඉතිහාසය නොවේ යයි කාට නම් කිව හැකිද?

වසර 700ද වසර 5ද?

කලා භූෂණ සම්මානය යනු මහා රාජ්‍ය සම්මානයක් ලෙස නොපිලිගන්නා නමුදු මෙම කලා භූෂණ සම්මානයම මීට වසර කිහිපයකට පෙරදී මෙවන්ම වූ අංගම්පොර නමින් පෙනී සිටින චීනඩි ශිල්පියෙකුට ලැබිණ. ඒ ගිනිඅලුගේ කරුණාපාල නම් අංගම් චෞරයාටය. එදා ඔහුද මෙසේ උඩපනිමින් තමාට රාජ්‍ය සම්මානයක් ලැබුණ බව කීවද අද තම හිත මිත්‍ර චෞරයාද එයම කියන විට මුනිවත රකිනුයේ මන්දැයි නොතේරේ.


අවසාන වශයෙන් කිව යුත්තේ ඉතිහාසය නොදන්නා සමාජයක් හමුවේ අංගම්පොර නමින් චීනඩි ඇද බෑවාට ඉතිහාසයත් තමන්ගේ කර ගන්ට යාමෙන් නම් රාජා වික්‍රමආරච්චි නම් චෞරයාට සිදු වූයේ හත්පොලේ ගාගැනීමක් පමණක් බවය. තමා සුවිශේෂී බව කියන්නට ගොස් රාජ්‍ය සම්මානයක් ලෙස මහා ඉහලින්පෙන්වීමට උත්සාහ කළ කලාභූෂණ සම්මානය යනු ඉල්ලාගෙන පස්සේලන් ගොස් ගන්නා සම්මානයක් බව මේ රටේ ඔලුව තියෙන උදවිය දනිති. ඒ නිසාවෙන් ඒකෙන්ද වැඩක්  නැත. තමා මරුවල්ලියේ පරම්පරාවෙන් පැවත එනවා යයි කීවද මරුවල්ලියේ පරම්පරාව යනු කුමක්ද කියා වත් නොදන්නා බව වසර 700යේ කතාවෙන්ම මොනවට පැහැදිලි වේ. ඌරා ළිදේ සටනකින් පසුව රාජ්‍ය සම්මානනීය දිසාපති තනතුරක් මරුවල්ලියේ කුමාරිහාමී ලැබුවේද මීට වසර 379කට නොවැඩි කාලයකදී වීමම රාජාට නොතේරුණාට තණකොල නොකන සිංහලයන්ට නම් තේරෙනවාට සැක නැත. ඒ මදිවාට කරුණාපාලද මීට වසර 5කට පෙර මේ සම්මානයම අරගෙන තිබීම තවත් හත්පොලේ ගාගැනීමකි. අන්තිමට කිය හැකි වන්නේ මෙපමණකි. එනම් කටේ නරිවාදම් රෙද්ද පල්ලේ බෙරෙනවා කියාය.





Thursday, November 24, 2011

බටුගෙදර රාජා විමලදාස වික්‍රමආරච්චි නම් අංගං චෞරයා

රත්නපුර, ඇත්ඔය, ඉලුක්තැන්නේ වාසය කරන රාජා විමලදාස වික්‍රමආරච්චි නම් වූ මෙම අංගම් චෞරයා විසින් 2003 දෙසැම්බර් මස 28 වැනිදා දිවයින පුවත්පතේ මීවිත අතිරේකයට වරක් තම පරම්පරාවේ ඉතිහාසය ගැන ප්‍රකාශ කරනු ලබන්නේ පහත ආකාරයේ ප්‍රකාශයකි.  “මගේ සීයාගේ පියා ඒ කියන්නේ අපේ ආතා තමයි වික්‍රමාරච්චි චාල්ස් අප්පුහාමි. ඒ කාලේ හිටපු හොඳ සටන් ශිල්පියෙක්. එයාගේ (ආතාගේ) පියා වික්‍රමආරච්චි සර්පින් අප්පුහාමි. එයා සුද්දන්ගේ පාලන කාලේ බොහෝම චණ්ඩිකම්, වීරක්ම කරපු කෙනෙක්. එයත් එක්ක ඒකාලේ කණ්ඩායමක් ඉඳල තියෙනවා. බලපිටියේ බොනියෙල් මැන්දිස්, ගම්පහ සවරින් අප්පු, සේදවත්තේ ජෝන් සිංක්ඥෝ, වැල්ලගාව දම්මෝරුව අප්පු, කුරුවිට පපිලියන බණ්ඩාර,.. මේ හැමෝම හොඳ දක්ෂ සටන් ශිල්පියෝ ඒ කාලේ හිටපු...“. මේ ලිපියේම අග භාගයේ රාජා ප්‍රකාශ කරනුයේ “එක්දහස් නවසිය හැට හයේ අවුරුද්දේ තමයි මම මුලින්ම රැකියාවකට ගියේ.“ යනුවෙනි. එනම් රාජා වයස අවුරුදු 18දී රැකියාවට ගියා යනුවෙන් උපකල්පනයක් කලේ නම් ඔහු උපන් වර්ෂය 1948 විය යුතු ය. ඔහුගේ සීයා වසර 60ක් ජීවත් වූවා නම් ඔහු උපන් වර්ෂය 20 වන ශත වර්ෂයේ මුල් භාගයේ හෝ 19 වන ශත වර්ෂයේ අග භාගය විය යුතු ය. ඔහුගේ සීයාගේ පියා එනම් ඔහුගේ මුත්තා (ආතා කියා රාජා ඉහත කියා ඇත්තේ හත් මුතු පරම්පරාව නොදන්නා කමටය) අනිවාර්යයෙන්ම 19වන සියවසේ එනම් එක්දහස් අටසිය ගණන්වල උපන් අයෙක් හා ජීවත් වූ අයෙක් විය යුතු ය.

ඒ කතාව එලෙසම තබාගෙන අපි දැන් අංගං ශාස්ත්‍රය තහනම් වීම හා ඒ සම්බන්ධව පර සුද්දන් කළ කෙනෙහිලිකම් මදක් විමසා බලමු. 1815 උඩරට ගිවිසුමෙන් තමන්ගේ සිතැගි පරිදි පර සිද්දන් වැඩ නොකරමින් ගිවිසුම කඩ කරනු දුටු අපේ වීරවරුන් වෙල්ලස්සේ කැරැල්ල ගොඩනගමින් කැප්පෙටිපොල, කොහුකුඹුරේ රටේ රාල, කොන්ගාලේ ගොඩ බණ්ඩා වැනි වීරවරුන්ගේ ශක්තිය හා මරණයට බිය නැති කම හෙවත් රට ජාතිය වෙනුවෙන් තිබූ අප්‍රත්‍රිහත දෛර්ය සුද්දන්ට පෙන්වීමට සමත් විය. සිංහලයාට මෙතරම් වීරත්වයක් උද්දාමනය වූයේ කුමක් නිසා දැයි අධ්‍යයනය කළ පර සුද්දන් ඊළඟට අත තැබුවේ එවන් ශක්තියක් අප තුළ ඇති කරන්නට හේතුවූ අංගම් ශාස්ත්‍රයටයි. එහිදී අංගං ශාස්ත්‍රය මෙරටින් අතුගා නොදැම්මොත් මේ රට සුද්දන්ට අවශ්‍ය ලෙස පාලනය කළ නොහැකි බව ඔවුන් තේරුම් ගෙන තිබුණි. මේ පිඹුරුපත් සැකසීමේ දේශද්‍රෝහී ක්‍රියාවට අපේ දීන සිංහලයන්ද උඩගෙඩි නොදුන්නා නොවේ. ඒ පර සුද්දන්ගෙන් ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ පරගැති අශාව නිසාවෙනි. එවැනි උන්හට පසුකාලයක මේ රට සුද්දෝ දමා යන විට මේ රට තවදුරටත් කෙලසන්නට මේ රටේ පාලන තන්ත්‍රය භාර දී ගිය බවද සැබෑ ය.

අංගම් ශාස්ත්‍රය කෙසේ හෝ 1818දී තහනමට ලක් කරන ලද අතර අප හෙළ සටන් පරම්පරාවල බොහෝ අයගේ දණහිසින් පහළට වෙඩිතබා තැන තැන මරා දමන්නට විය. මේ ක්‍රියාවලිය 19 වන සියවස පුරාවටම සිදු වූ අතර අප අංගං ශිල්පය ඉතාමත්ම රහසිගතව හා වනවැදීමෙන් ආරක්ෂා කර ගැනීමට අපට සිදු විය. අප එක් පරම්පරාවක් විසින් එලෙස කැලෑ වැද සිට සඟවා තබන ලද යක්ෂ ගෝත්‍රික භාෂාවෙන් ලියන ලද නිල සටන් ගැන ලියැවුණ පුස්කොල ග්‍රන්ථයක් අපට හමුවන්නේ බොහෝ මෑත කාලයේ දී කැලේදී ගල්ගුහාවක් තුළ මියගිය අප සටන් ශිල්පියෙකුගේ ඉතිරිවූ ඇටකටු හා හිසකෙස් කොටස් කිහිපයක්ද සමගිනි. එසේ වූ ඉතිහාසයක් සහිත අංගං ශාස්ත්‍රයේ අතිශයින්ම අවාසනාවන්ත යුගයක් ලෙස 19වන ශතවර්ෂය පෙන්වා දිය හැකිය.

තහනම් වූ අංගං හා තහනම් නොවූ චීනඩි?

රාජා විසින් ඉහත පුවත් පත් ප්‍රකාශයේ කරන  ලද ප්‍රකාශය නැවතත් බුද්ධිමත්ව සලකා බලමු. “එයත් එක්ක ඒකාලේ කණ්ඩායමක් ඉඳල තියෙනවා. බලපිටියේ බොනියෙල් මැන්දිස්, ගම්පහ සවරින් අප්පු, සේදවත්තේ ජෝන් සිංක්ඥෝ, වැල්ලගාව දම්මෝරුව අප්පු, කුරුවිට පපිලියන බණ්ඩාර,.. මේ හැමෝම හොඳ දක්ෂ සටන් ශිල්පියෝ ඒ කාලේ හිටපු.“. මේ කියන පුද්ගලයින් ජීවත් ව සිටිය යුත්තේ 19වන ශත වර්ෂයේ වන අතර එසේ නම් සුද්දන් අංගම්පොර ගැසට් නිවේදන මගින් තහනම් කර “බකන් නිලාගෙන“ හිටියා විය යුතුය. මන්ද අංගං තහනම් කොට වසර 20ක් 30ක් යන්නටත් කලින් පඳුරු ගානට අංගං ශිල්පීන් “චණ්ඩිකම්“ කරනු දකිද්දී සුද්දන් බලා හිටියේ උන් මේ රටේ පාලන තන්ත්‍රය භාරගෙන නොසිටියා විය යුතු ය. අපේකම විනාශ නොකලා විය යුතු ය. සිංහලයා විනාශ නොකොට සිංහලකම විනාශ කිරීම සිදු නොකලා විය යුතුය. එසේ නම් මේ කතා කරන 19 වන ශතවර්ෂයේ අංගං ශිල්පීන් කවුද? පිළිතුර සෙවීම පසෙක තබා නැවතත් එම ලිපියේ පහළ කොටස කියවා බලමු. 


සුද්දන් තහනම් කළ අංගම්වලින් සුද්දන් ආරක්ෂා කිරීම ?


එක්දහස් නවසිය හැට හයේ අවුරුද්දේ තමයි මම මුලින්ම රැකියාවකට ගියේ. ඒ රඹුක්කන්ද වත්තේ වතු අධිකාරී ඩෙස්ෆර්ඩ් බැරි කොකින් කියන මහත්තයාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා විදිහට. ඒ කාලේ අපිට බොහෝම බැරෑරුම් අවස්ථාවලට මුහුණ දෙන්න වුණා. ශිෂ්ටාචාරකමෙන් අඩු දඩබ්බර වැඩ වලින් වැඩි මිනිස්සු තමයි ඒ කාලේ වතුවල හිටියේ. ඔවුන් පාලනය කරපු සුදු මහත්තුරැන්ටත් සමහර අවස්ථාවල ඒ අයව පාලනය කරගන්න බැරි වුණ අවස්ථාථා තිබුණා. ඒ වගේ අවස්ථාවලදී වත්තයි, හාම්පුතාවයි, රස්සාවයි තුනම ආරක්ෂා කරගන්න වුණේ අපට. මේ ශිල්පයට පිං සිද්ධවෙන්න තමයි ඒ ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න අපට පුළුවන් වුණේ.“ මේ රාජා වික්‍රමාරච්චිගේ වචනයි. සුද්දන් ආරක්ෂා කිරීමට තමන් දන්නා ශිල්පය භාවිතා කරමින් තමන් විසින් සිංහලුන්ට තඩිබෑ බව නොවේද ඔහු මේ නොකියා කියන්නේ. තවත් වචනයකින් කියනවානම් සල්ලි වෙනුවෙන් සුද්දාගේ පශ්චාත් භාගය ලෙවකමින් උන්ට විරුද්ධව ගිය අපේ මිනිස්සුන්ට පහර දී සුද්දාව ආරක්ෂා කලේ තමන්ගේ ශිල්පයෙනි. අද ඔහු එයට කියන්නේ අංගම් කියා ය.

දන්නා චීනඩි වල නොදන්නා ව්‍යායාම

ඇත්ත වශයෙන්ම කියනවා නම් එදා අද වගේ විශේෂ ව්‍යායාම් කියලා දෙයක් අපිට තිබුණේ නෑ. වත්තේ පිටියේ, කුඹුරේ කමතේ හොඳට ඇඟ මහන්සි වෙන්න අපිට හොඳ හැටියට වැඩ තිබුණා. අපි වැඩ කළා. ඒ වැඩ කටයුතු වලින් අපට හොඳ ව්‍යායාම් ලැබුණා.“ මේ රාජාගේ තවත් මුග්ධ ප්‍රකාශයකි. කරාතේ වැනි ක්‍රීඩාවක් ගණයට ගැණෙන එනම් යුධමය සටන් ක්‍රමයන් නොවන ප්‍රාථමික සටන් ක්‍රම වලදී පවා යම් ආකාරයක ව්‍යායාම ක්‍රමයක් තිබෙන අතර ඒවා ශරීරයේ ක්‍රියාකාරීත්වය හොඳින් අධ්‍යයනය කොට සකස් කොට ඇති අතර ඒවායින් සිදු වන්නේ සාමාන්‍ය වෙහෙස වීමක් පමණක් නොවේ. අපට පසක් වී ඇති කරුණු අනුව රාජා දන්නේ චීනඩි වන අතර අපේ දැනුම නිවැරදි නම් චීනඩි වලද ව්‍යායාම ක්‍රම ඇත. දැන් දැන් රාජා චීනඩි වත් නිවැරදිව දන්නේ ද යන්න සැකයකි.  රාජා කියන ඉලව්වේ දී ඔහුට ශාරීරික ව්‍යායාම නොදුන්නානම් ඔහුගේ ශරීර ශක්තිය හා ශරීරයේ නම්‍යශීලීත්වය ගැන කවර කතාද? රාජා සිතා සිටින ආකාරයට සටන් කලාවකදී ව්‍යායාම යනු වෙහෙස මහන්සි වීම ය. හති වැටෙනවා නම් කෝකත් ව්‍යායාමයක් යයි ඔහු තමන් ළඟට එන කුප්‍රබුද්ධ ගෝලබාලයන්ට කියනවා සැක නැත. උන් ටික දවසකින් මීට වඩා හොඳයි කරාතේ කළා නම් කියා යන්න යනවාද ඇත. ඊට පසු උන් අංගම් කියන්නේ හරිම ප්‍රාථමික සටන් ක්‍රමයක් යයිද සමාජය අභිමුඛයේ දෙසාබානවා ඇත.

මෙසේ එදා එනම් 2003දී දිවයින පුවත් පතට මුග්ධ ප්‍රකාශයක් කළ මෙම චෞරයාගේ අතිපෞරාණික සටන් ක්‍රමයේ යම් වෙනසක් 2009 වන විට සිදු වී ඇති බව පෙනේ. මොහු සමඟ අසෝකා දිසානායක නම් විශ්ව කැළණිය විශ්ව විද්‍යාලයෙහි ලලිත කලාවේදී ශාස්ත්‍රපති කථිකාචාර්ය වරිය සමඟ පනාවල ගුරුගෙදර සබරගමු නැටුම් පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේදී 2009.05.27 දින ලබා දුන් සාකච්ඡාවේදී අඩංගු කරුණු ඇතුළත් “අංගම් සටන් කලාව සහ බෙර වාදනය“  නම් වන ලිපියේ දී ඔහු තමන්ගේ සටන් ක්‍රමයේ යොගා ව්‍යායාම හා භාවනා ක්‍රම ඇති බව ප්‍රකාශ කරයි.

විශේෂ ව්‍යායාම ක්‍රමයක් නොමැතිව එදා චීනඩි උගත් රාජාට දැන් දැන් නිශ්චිත ව්‍යායාම ක්‍රමයක් පමණක් නොව විෂය නිර්දේශයක් ද ඇති බව ඉහත ලිපියට ඔහු ලබා දී ඇති තොරතුරු වලින් පැහැදිලි වෙයි. තුම්මුල්ල පැනීම ආදී වූ චීනඩි නිර්දේශයක් ගැන ඔහු මෙහිදී ප්‍රකාශ කරන අතර ව්‍යායාම ලෙස ඇත්තේ නමක් නොමැති භාවනා ක්‍රමයක් හා ඉන්දියානු යෝගා ව්‍යායාම පමණි. එයින් පැහැදිලි වන කාරණය නම් රාජාගේ අංගම්පොර කාලයෙන් කාලයට වෙනස් වෙමින් පවතිත අතර තමන්ට කැමති ආකාරයට වෙනස් කර ගත හැකි බවයි. කෙසේ වෙතත් සාමාන්‍ය පාඨකයා අවබෝධ කොට ගත යුත්තේ අංගම් සටන් කලාව වසර දස දහස් ගණනක් පැවතුනේ මේ ආකාරයට එක් එක් අයට කෑලි කෑලි එකතු කොට විකෘති කිරීමට ඉඩදී නොව හෙළ ඍෂිවරුන් විසින් නිර්දේශිත ව්‍යායාම ක්‍රම හා පුහුණු කිරීමේ ක්‍රමවේදයන් ඒ ආකාරයෙන්ම එදත් අදත් අනුගමනය කිරීමෙන් බවයි. (මෙම විෂය නිර්දේශය ගැන වැඩි විස්තර මෙතනින් බලන්න)

පරම්පරාවේ චණ්ඩිකම් හා කරුණාපාලගේ චීනඩි නෑකම


ගෙදරට අඳින සරමකින් සැරසී සිටින
මොහු අතැත්තේ පෙරියවාලු
නොහොත් පෙරිය කඩු නම් ද්‍රවිඩ කඩුවකි.
ඉහත කරුණු කාරණා සලකා බැලීමේදී 19 වන ශතවර්ෂයේදී පැවති  සුද්දන් ආරක්ෂා කිරීම උදෙසා භාවිතා වූ සුද්දන් විසින් ප්‍රිය කළ සටන් ක්‍රමය අංගම් වනවාද නැද්ද යන්න පිළිගැනීම බුද්ධිමත් පාඨකයාට භාර කරමු. තහනම් යුගයේදී පඳුරු ගානට සටන් කරුවන් ප්‍රසිද්ධ වූයේ නැති අතර එම යුගයේ අංගම් වල හිදැස පිරවීම උදෙසා චීන වෙළෙඳුන් විසින් ඉන්දියානු සටන් ක්‍රමවල මිශ්‍රණයක් ලෙස ලංකාවේ නාටාමීන් වැනි රස්තියාදු කාරයින් හට වැඩිමනක් පුහුණු කරන ලද චීනඩි නොමැතිනම් චීන චෙම්පෝ නම් සටන් කරුවන් නම් ලංකාවේ පහතරට ප්‍රදේශවල බහුල විය. ඔවුන්ගේ සටන් ක්‍රමය අංගම් තරම් ප්‍රභල නොවීම නිසාවෙන්ම හා ඔවුන් ඉතිහාසයේ එකඳු ජාතික සටනකට හෝ කැරැල්ලකට උදව් නොකළ නිසාවෙන් සුද්දන්ට එය ගැටුලුවක් නොවී ය. තුම්මුල්ල පැනීම, පුඩි නමින් හැඳින්වූ ගැට සෙල්ලම් ආදී සංකල්ප වලින් යුක්ත මෙම සටන් ක්‍රමය තුළ ඉන්දියානු මලයාලම් සටන් ක්‍රමවල එන කඩු සටන්, සුරුට්ටුවාල් සටන්, පිහි සටන් වැනි දේ ඇතුළත් විය. සැබෑ අංගම් ශිල්පීන් තම අනාගත පරම්පරාව ආරක්ෂා කරනු වස් නිහඬ වන විට සටන් කරුවන් නොව “චන්ඩි“ බවට පත් වූයේ ඔවුන් ය. රාජා එම “චන්ඩි“ පරම්පරාවක් බව ඔහුගේ වචන වලින්ම පැහැදිලි වේ.  “එයා සුද්දන්ගේ පාලන කාලේ බොහෝම චණ්ඩිකම්, වීරක්ම කරපු කෙනෙක්.“ ඒ රාජාගේම වචන ය.

සිරි කොතලාවල නම් ව්‍යාපාරිකයා විසින් අංගම්පොර සම්මේලනයක් හදා ගෙන කරුණාපාල වැනි අධම චීනඩිකාරයින් අංගම්පොර ශිල්පීන් ලෙස ලොවට හඳුන්වා දෙන විට ඒ සම්මේලනයට රිංගා ගත් රාජා චීනඩි සටන් ක්‍රමය අංගම්පොර ලෙස පැකට් කොට විකිණීම හවුලේ ආරම්භ කරන ලදී. “අපි දැනට මේ ශිල්පය නැවත නගාසිටුවීමේ අදහසින් ජාතික අංගම් ශිල්ප කලා සම්මේලනය කියල සම්මේලනයක් ඇති කරලා තියෙනවා. එහි සභාපති වශයෙන් කටයුතු කරන්නේ සිරි කොතලාවල කියල මහත්තයෙක්. කෝට්ටේ සටන් පරම්පරාවෙන් පැවතෙන කරුණාපාල කියල මහත්තයෙක් තමයි උප සභාපති වශයෙන් කටයුතු කරන්නේ.“ රාජා ඒ ගැන පුරාජේරු කීවේ ඒ ආකාරයෙනි. දීකිරිවලට බලල්ලුත් සාක්ෂිලු කියන්නේ මේවාට ය.


‘වේල් පෙරහරවල්වල‘ තප්පුව ගසමින් ගිය අංගම්පොර?


රාජා නැමති මෙම චෞරයා සතුව පවතින්නේ සැබෑ අංගම් ශිල්පයද නොමැති නම් දකුණු ඉන්දියානු සම්බවයක් හා ද්‍රවිඩ උරුවක් සහිත සටන් ක්‍රමයක්ද නැද්ද යන වගට තවත් එක් ප්‍රභල සාක්ෂියක් ඉහත ලිපියේ මැද කොටසේදී කියවෙන නැටුම් හා අංගම් අතර ඇති සම්බන්ධය පැහැදිලි කිරීමට උත්සාහ කරන මෙම කොටසින් මොනවට ඔප්පු වේ. අංගම් ශිල්පීන් හා නැටුම් ශිල්පය අතර සම්බන්ධතාවක් ඇති බව දන්නා රාජා එය වඩා ප්‍රභලව ප්‍රකාශ කිරීමට ගොස් ප්‍රකාශ කරනුයේ “තප්පු කියන තාල භාණ්ඩයක රිද්මයට අනුව තමයි මේ නැටුම් නැටුවේ. ඉස්සර නම් ගමේ ගොඩේ පිංකම් පෙරහරවල්වල, වේල් උත්සවවල මේ නැටුම් දකින්න තිබුණා.“ කියාය. කොට්ටෝරුවා කොට කොටා ගොස් කෙසෙල් ගසට කෙටූ වග දැන් පැහැදිලිය. නැටුම් ගැන ටිකක් කියා නැවතුනා නම් තිබුණි. නමුත් වඩා හොඳින් කියන්න ගොස් හොට ගලවාගන්න බැරි තරමටම ඇණ ගත්තා කීවොත් නිවැරදි ය. රබානක හැඩයකින් යුත් තප්පුව නොහොත් තප්පට්ටම් යන රබාන ගසමින් පෙරහැරවල්වල ගියේ සිහලුන් නොවේ. දෙමළුන් ය. මෙම තප්පුව යනු කුමක්දැයි දැන ගැනීමට මෙම යොමුවට යන්න. මේ සඳහා අර්ථකථනය මෙසේ ය. “Thappattam is practiced among the suppressed classes of the people of the Tamil Nadu. The subtle form of dance accompanied by captivating music, is an ancient rural folk art which is even now popular in urban slum areas in villages.“  දවුල, ගැටබෙරය හා යක් බෙරය වැනි දේශීය බෙර තිබියදී අංගම් ශිල්පීන් දෙමළ තප්පුව ගැසීමට කිසිදු සාධාරණ හේතුවක් හෝ න්‍යායාත්මක පදනමක් නැත.
එසේම වේල් පෙරහරවල්වල අංගම්පොර ශිල්පීන් නැටුවේ නැත. එසේ නැටුවේ චීනඩි කාරයින්ය. නුවර පෙරහැර වැනි බෞද්ධ සංස්කෘතියට ආවේණික වූ පෙරහැර තිබියදී ද්‍රවිඩයන්ගේ වේල් පෙරහැරවල නැටීමට තරම් අංගම් ශිල්පීන් දීන වූයේ නැත. අනෙක් කරුණ වන්නේ අංගම් ශිල්පීන් කිසිඳු අවස්ථාවක පෙරහැරවල්වල නැටීම සිදු නොකළා යන කාරණයයි. නැට්ටුවා ඇතැම් විට අංගම් ශිල්පියෙක් විය හැකි වුවද ඔහු පෙරහැරට ගියේ නැට්ටුවෙක් ලෙස මිස අංගම් ශිල්පියෙක් ලෙස නොවේ. එසේ යාමට හැකියාවක්ද එදා තිබුණේ නැත. මන්ද අංගම් ශිල්පීන් දුටු තැන වෙඩිතැබීමට සුද්දන් නියෝග කොට තිබූ යුගයක එවැනි ප්‍රසිද්ධ පෙනී සිටීමකට හැකියාවක් නොතිබීමයි. අදටත් තප්පුව ගසමින් වේල් පෙරහැරවල්වල නටමින් යන ද්‍රවිඩයින් තේ වතු ආශ්‍රිතව මොනවට දැකගත හැකි ය. දෙමළුන්ගේ පශ්චාත් භාගයට වඳිමින් උන්ගේ පෙරහැරවල්වල යාමට හෝ උන්ගේ බෙර ගැසීමට හෝ උන්ගේ අවි ආයුධ භාවිතයට හෝ කිසිඳු උවමනාවක් සැබෑ අංගක්කාරයින්ට තිබුණේ නැත. ඒ බව මෙවැනි හොරුන්ගේ මායාවලට හසුවන හුදී ජනයා පැහැදිලිවම අවබෝධ කොට ගත යුතු වන්නේ ය.

මෙම පිටුවේ අඩංගු මෙම කරුණුවලට අමතරව චීනඩි විෂය නිර්දේශය, අපූරු ආයුදේ, අපූරු නිල ශාස්ත්‍රය, මගඩි නැටුම් වැනි වෙනත් පිටුද කියවා අප හෙළිදරව් කරන මෙම කරුණු පසක් කරගන්නා ලෙස ඔබගෙන් ඉල්ලා සිටිමු.